Pages

Sunday, September 27, 2020

අවැසිය අධි මාත්‍රික ඔබ ප්‍රේමය


සුපුන් මුහුණකට වඩා 

සුදිලෙන ඔබේ  ප්‍රේමණීය 

හදවත ඇවැසිය 

දෙඅත්  තදින් අල්වා ගන්න ...


සිනමා පට  සිහින විජිත 

අතර නැති මහපොළොවක 

දෙපා තබා  එක්ව යන්නට 

අවැසිය විඩා නිවන 

ඔබෙ සිනහව .....


තුන් කල්හි  රිදුම් නසන 

ඇවැසිය අධි මාත්‍රික  ඔබේ ප්‍රේමය.!!!!





Tuesday, March 12, 2019

෴෴තුන්පත් සුවඳ෴෴



තාත්තා දාඩිය සුවඳයි
  අම්මා කිරි සුවඳයි
 මම ඕඩිකොලොන්
       සුවඳයි!!!
                                                             සංකල්පනා - විමු ලියනගේ.

Monday, March 11, 2019

කටු ඇනෙන හඳවත




කටු ඇනෙන හඳවත
අත ගා සනසනවද,
කටු අග පීපි රෝස
 මලේ!!!



(සටහන : විමුක්ති ලියනගේ)

Wednesday, March 6, 2019

෴෴සල්ලි෴෴


ගෙදර බල්ලොත්
මැරෙති බඩගින්නේ,
හරි හම්බු නොකලොත් 
බල්ලොත් නොකන සල්ලි.

(සටහන : විමුක්ති ලියනගේ)

Monday, March 4, 2019

෴෴භාවනාව෴෴


නොසිතා
ඇය ගැන
ඉන්නට හැකිනම්,
සසර දිගුය මෙමා හට..

සිත් පිත් නැති
මුරුගයෙක්ට පමණි හැකි 
සිහි නොකට ඉන්නට
උකටලීව.
ඇය දෙතොලින්
     තැවරු 
අනන්ත ප්‍රේමය!

උනා කමටහන්
අබිනිශ්කමනය
කරමි මං,
අමාවක අහස යට
රහසින් නික්මෙන
 බෝ තුරු පතක්
ලෙස,
පතමින් ඇය තුරුලෙහිම
 නිවන්.

ඉතින් අවසරයි
මහ හිමියනි.....!

සටහන : විමුක්ති ලියනගේ





෴෴කක්කුටු පරිච්ජේදය෴෴

                                  මා කුඩා කල උන්දැ ට්යුෂන් මාස්ටර්වරයෙකි. පොල් ලෙල්ලක් වන් උඩු රැවුලකි. කොට ඝනකම් හිස් කෙයිය සහිත ඔළුවකි. පඩත්තල වදන් දෙසා බාන මුඛරි කටකි. මා තරුණ වන විට,  උන්දැ උඩු රැවුල  වෙනුවට මුහුණ පුරා රැවුල වවා ගත් බමූනූ මුහුනකටද, දිගු කෙස් වැටියක් උන්ඩී කොට හිස මුදුනේ ගැට ගසා ගත් ශිර්ෂයකටද වෙස් මාරු කරගත්, විශ්‍රාමික, හිස නිකට පැසුනූ  ගුරෙකි. මහා මැතිවරණයට දේසයට නොගැලෙපන කැම්පේන් එකක් කොට ඉල්ලන් කා ගත්තෙකි. 
   උන්දැ ඇත්තටම මට පොරකි, අයිඩල් එකකි. උන්දැ අඩි පහක් පමන උසැති ශරීර පොඩ්ඩෙකි. මම පොරට ලවු කරමි. ගොඩක් උන් උන්දැගේ අම්මාට පවා පින් දෙති.  ලොව එහෙමය. ලාභ අලාභ, නින්දා ප්‍රසංශා, යස අයස්, සැප දුක් අප සැමට උරුමය. බුදුරදුන්ගේ ධර්මයට අනුවත් ඒසේය.  
  
   පවතින ක්‍රමයට අභීයෝග කිරිමට සියලු සත්ව‍යෝ බිය වෙති. මන්දයත්, දන්ඩණයට, අපහාසයට, මර්ධනයට අප බිය වෙමු. බහුතර මතයට අපි හිලෑ උන යක්කු වෙමු. එසේ නොවනෝ ගල් පෙරලිම්, වස දීම්, කුරුසපත් වන්නට භාගයවන්ත‍යෝ වූවෝය. වෙඩි තැබිම්, ටයර් සෑ මත සැතපෙන්නට  භාගයවන්ත‍යෝ වන්නෝය.

සාහිත්‍ය බලයකි. මැජික් ගුලාවකි.  හිස පිරා තෙල් ගා හුජ්ජ යන්නට ටොකු අනින්නට හැකිය. නැතිනම් ටොකු අනිනවා සේ පෙන්වා, පුප දෙන්නට හැකිය. ලක්දිව බොහෝ පොත් කුරුටු ගාන හූරන්, පුප දෙන්නට රුසියෝය, සූරයෝය.

 භික්ෂු පරිච්ජේදය පොතකි. පිටු හාරසිය ගනනකි. එහි කතුවරයාද, මෙහි උන්දෑද උපුල් ශාන්ත සන්නස්ගලයි. 
සිවුරුද, කලිසන්ද, සරම්ද සහ එකි මෙකී නොකී සියලු වස්ත්‍රරද  රෙදි වග්ගයට අයිතිය. රෙදි ගැලවිමකි. හුජ්ජ යන්නම ටොකු ඇනීමකි. පොතේ සුදු පිටු අතර මජර සිව්රුදාරින්ගේ ගඳ ගහන පැට්කිරිය කළු අකුරින් ලියා ඇත. කරුමයකි. මීට වඩා බලු කහකඩ කතා අපද දනිමු. අහෝ පවකි. අපි එවා ලියන්නට, ගැලරියට කියන්නට බිය වන්නෙමු. ලියන්ට කියන්ට ඕන උනත් භාෂාව නම් තුවක්කුද, වදන් නැමති උන්ඩද නැත, ඔය දෙකම තිබුනත්  කොකාට අත තබා අදින්නට දහිරියද අපට නැත්තෙමු. 
සන්නස්ගල සිම්බා නම් බලු වෙස් ගත් ආත්මිය පුතෙකුට බණ කියයි.  බණ පොත් රැසක් විකිණි අවසානයෙත් කිසිම හැල හොල්මනක්, කෑ මොර දිමක්, ගර්ජනයක්, තර්ජනයක් නැත.  පැටලිලි සහගත හැසිරිමකි. ගුප්ත මනෝ විකාර බවකි. 
              නැත නැත, කදිමම උපාය මාර්ගයකට මේ චෞර චුදිතයන් එළඹ ඇත.  කම්පිත නොවී තමාට වාසි  සහගත දේශපාලන හා සමාජීය පොර පිටියක් ලැබෙන තුරු ඉවසා වදාරා සිටිති. කලබලය තමාට පාඩුවක් බවත්, අනෙකාට තමා පහසු ඉලක්කයට වන බවත් චුදිතයන් දනී.  දිගු නිහඩතාවයකට පසු ඇත්තේ කුනාටුවක් නොව මර්ධනයයි.  
 රතන සූත්‍රය බුදුරදුන්ගේය. තුන් බිය නැති කරන්නට, රතන සූත්‍රය සජ්ජායන කරමින්, අමනුස්සයන් පලවා හරිම්න්, සඟ ගණ  විසාලා නුවර පුරා වැඩියෝය. එය සාමුහික උතුම් අරමුනක් සහිතවූ ක්‍රියාවකි.  ඉතින්  මජර  චෞර  කපටියන් නිරුවත් කරන්නට තව බොහෝ සන්නා පන්නයේ උන් ඕනැය. එය උපුල්ට  හෝ සන්නාට තනියෙන් කරන්නට හැකි දෙයක් නොවන්නේය. ඔහු ගඩොලක් බුරුලු කොට පෙන්වා ඇත. පවුර පෙරලිම අප සැමගේ යුතුකමක් වන්නේය.
මෙතැනින් ප්‍රධාන කතා වස්තුව නිමි අතර අතුරු කතාවක් අරඹමි.

මගේ මී ආච්චි ( අම්මගේ තාත්තගේ අම්මා), මට කියු රස කවියක් මට මතකය.  එය මිය ගිය එතුමියට පින් පිනිස මෙහි අමුණමි.

   හා:  කක්කුටු නයිදේ කොයි සිට      වඩිතා
   ක:   තට්ට ස්වාමිණි ගෙයි සිට         දොරටා
   හා:   උත්තම දානෙට යස ලුනු         මිරිසා
   ක:   තට්ටෙම පැලියන් ඔය කී         බසටා

(කකුළුවා = ක, හාමුදුරුවෝ = හා)

කවියට වස්තුවූ කතාව:-   සිල්වත් වෙස් ගත් මහණෙකි. හිමිදිරියේ පිඩු සිගා වඩිති. කක්කුට්ටෙකී. ගුලෙන් එළියට හිස දමා, වමට බරව පා තබා ආහාරයට යමක්  සොයන්නට එළියට ඇදෙයි. ශ්‍රමන උත්තමයන් කකූළුවගෙන් කොයි යන්නේදැයි විචාරා සිටි.  තමාද යමක් සොයා ගුලෙන් එලියට ආ බව කක්කුට්ටා කියයි. 
එක්වරම සිලවත් වෙස් ගත් මහණ තෙම දිව පිනා යන කකුළු ඩෙවල් රසකින් මුලාවට  හා මෝහයට පත්ව, කකුළුවා දානේට පට්ට සම්බෝලයක් බව කියා සිටි.  උන් හිටි තැන් අමතක වූ කකුළුවා, තමාට කී අමන කතාවට,  මුඩු හිස පැලෙන ලෙස  එම හිස් මිනිසාගේ මුහුනටම සාප කරයි.


වෙල් කක්කුට්‍ටාට තිබූ ගට, දහිරීය, අපේ වරිගයට අද නැත, සිල්වතුන්ට ගරු බුහුමන් කිරිමටත්, ජඩයන්ට පුකට පයින් ගැසිමටත් අප සියලු දෙනාට ශක්තිය වාසනාව උදාවේවා...........!!!!


සටහන : විමුක්ති ලියනගේ

෴෴සරල ගැමි ගෙම්බෙක්෴෴


ගෙම්බෝ උභය ජීවින්ය.  දිගටි කකුල්ය.  දැල් සහිත ඇඟිලිය. සෙවල සහිත සමය.සමහරුන්ගේ සමේ ගැටය. දිව දමා මැසි මදුරු පනුවන් අල්ලා ගිලින්නෝය. දිය ගොඩ සැම තැන බක බක ගාන්නෝය. දෙපා මානවයන්ට අනුව අප නිකන්ම නිකන් ගෙම්ඹන්ය. අපට ලොව පෙනෙන්නේ ද්වීමාන දැලක් ලෙසය. අප මෝඩය. ආච්ච්ගේ රෙද්දය. මම අකුරුපත් කරන්නේ අපේ  බහූමාන ලෝකයයි.

පිට ශීත රටවල් වල රතුම පාට තොල් ඇති සුදුම සුදු සැමැතී ගෙම්බියන් සිටින බවත්, උන් මුහුදු වැල්ලේ අව්ව තපින බවත්, රාත්‍රියට ආජූ තපර ලාලීලා යැයි ගිනි ගොඩවල් වටා නටන බවත්, දවසක් ලන්ඩන් සිට  පැමිනී ජම්බෝ නම් ඇටකිච්චෙක් මා සමඟ කිව්වේය. බොරු කියන්න එපා බං වගේ බැල්මක් ඇටකිච්චාට  මම හෙලුවෙමි. අම්මපා සත්තයි කියා ඌ දහ පාරක් උඩ පැන්නේය.

"ඇට ගෙම්බා ගෙට පැන්නා
ගේ නෝනා උඩ පැන්නා " යැයි ගෙදර වැඩකාර කොලුවා සරම කඩා ගෙන දිව්වේය. පතරංග දිය නයෙක් කියා ඇටකිච්චා, වැඩකාර කොලුවාගේ අංග ජාතකයට  නිරපරාදයේ බියවී මළේය.  ඇටකිච්චා මගේ අතිජාත මිත්‍ර්යාය. ලබන මස බර්ගර් සුදු ගෙම්බියක් හා විවාහ වන්නට සුදානමින් උන්නේය. එවන් ලස්සන ගෙම්බියක් ලබන්නට පෙර පින තිබෙන්නට ඕනැය. ඌත් පව්කාරයෙක් ලෙස මළේය. මගේ පැතුමද ඇය වන් සුන්දර සෙවල ලලනාවක  හා විවාහ කරගන්නටය. ඇතැම් විට වියෝ දුකින් පෙළෙන ඇය මට දැන් කැමති වන්නට හැකිය. මිතුරා නිසා වම් ඇසේ  උපන් කදූළුය, දකුණු ඇසේ  ඔහුගේ ප්‍රියම්බිකාව නිසා උපන් සතුටු කදුළුය.බක බක දුක මැද පුන් සඳ වන් සතුටය.

මා පමණක් නොව සැම ගෙම්බෙක්ගේම  පැතුම රාජ කුමාරිකාවක් සරණ යාමටය. ඕක මේ සුරන්ගනා කතාවක් ඇත්ත කියා සිතා ගෙන අග මුල පටලවා ගැනිමක් බව රැඩිකල් ගස් ගෙම්බෙක් කිව්වේය. ඇත්තම කතාව ගෙම්බන් පමනක් නොව ගෙම්බියන්ගේ පැතුමද රාජ කුමාරයෙක් සරණ යාමය. අවසානයේ සිහින කුමරා කුමරිය හමු නොවී සම  රැලි වැටී තම ජාතිය බෝ කරන්නට අවකාසයක් නොලබා වසරකට දහස් ගණනින් අවුට් ඩේටට් වෙනවාය. ඊට පසු ලොන්ත බුරුස් ගහල ගෙම්ඹෙක් හෝ ගෙම්ඹියක් බදිනවාය.


අපේ සීයලාගේ කාලේ ජිවිත හරි සරලය. දකින ඒකා සමග ලිවින් ටුගෙදය. කාර් වෑන්, තට්ටු ගෙවල් එදා උන් නොපැතු බවත්, අහුවෙන මැස්සෙක්, ගෝවා කොලයක් කා සතුටින් ජිවත් උන බවත්,
ආලිංගනයට දම්රෝ  ඩබල් ලේයර් මෙට්ට නොපැතූ බවත්, ආලින්දයේ හෝ පිට කහන හබරල ගසක් මුල හෝ ජාතියට තම යුතුකම ඉෂ්ට සිද්ධ කර වීර පුතුන්වූ බවත් විටක් හපමින්, ලොඳ ගෙවුනු දණහිස් පොල්කටු අත ගාමින්, ගොම්මන් වේලාවක මාගේ දිවන්ගත සීයා පුරාජේරුවෙන් කී සැටි අද වාගේ මතකය. ඒ කාලේ
හැම ඳිය කඩිත්තකම, ඇල දොලකම  පැපොල් ඇට මාල වැනි ගෙඹි බිත්තර වැල්ලූ. චැන් චුන් ගාන ගෙඹි තොත්ත බේබිලාලූ.  ඒ කිව්වේ ඉස්ගෙඩියෝය. ඒ කාලේ රෝම යකඩ ගෙම්ඹන් පවා අපට අභි‍යෝග නොකල බවත්, එසේ කළහොත් යකඩ සැට්ට තැලෙන්න ගුටි පුජා ලබන්නට වන බවත් උන් දැන් ඉන්නට ඇතිය.
70 ගණන් වල ආර්. ජේ. ගෙඹි රජතුමා හදුන්වාදුන් පුන්චි පවුල රත්තරං සංකල්පය අප ගෙඹි සනුහරේම අවසානයට පාර කැපූ බව කියමින් අනගාරික මණ්ඩුකතුමා ලිං පතුලට පැන්නේය. ඌගේ රෙද්ද තමයි කී ඇසලින් මණ්ඩුක උපාසක මාතාව, අනගාරික බැල්ම ඇති වසවර්ති ගෙබි පැටවුන් සිය දෙනා සමග  පිට පොත්තට ඇලුනූ බඩවල් අත ගගා වෙසක් දන්සල දෙසට පැන පැන ගියාය.

මේ  රට හැමදාම විනාස කරපූ රදළ ගෙම්බන් වෙනුවට සරල ගැමි ගෙම්බෙක් රජ කරන්නට ලියුම්කරු වන මමද සෑම තත්පරයක්ම තරුන ගෙඹි  පරපුර සමග කට්ට කැවේය, සිහින දුටුවෙමි. සිහිනය යාථාර්තයක් විය. දැන් පැන පැන ගිය කාලේ ඉවරයි රාළේ කී සිනමාරිස් ගෙඹි මලයා ලැම්බෝගිනියක් පදවන සැටී අභීනයෙන් රගපා පෙන්නුවේය. ජන්ද කැම්පේන් දවසකද බෙල්ල මිරිකා කානුවකට තමා විසි නොකරේ මන්දැයි කියමින් කරපු අපුල අතාත්වික රංගනයට වඩා මෙම අභිනය කොතරම් අකුටිල, නිර්මල පැතුමක්දැයි මට සිතුනි.


මහත්මාගාන්ධ් වගේ සරල නායකයෙකුගෙන් අපට ගත හැකි පරමාදර්ශ මොනවාදයි මුල් ගුරු පණ්ඩුක ඇහුවම, තමාගේ පාසලටම ඉදපු  වසවර්තියා වූ, ඇම්ඩන් ගස් ගෙම්බා දුන් පිලිතුර පොරොන්දු ඉටු නොකරන , මහජන මතයට අපර භාගය පෙන්වන, සෑම සරල හෝ සංකීර්න ගෙඹි රජෙකුටම ආදාළ බව සිනමාරිස් ගෙඹි මලයා කසියා බී කෙළ ගසමින් , ලැම්බෝගිනි එන්ජීමක් මෙන් දැවෙමින්,වේදනාවෙන් අප හා කී සැටි මට තවම මතකය.

එය මතු පරපුරේ උන්ටද දැන ගන්ට ලියා තබමී.
                               "නිරතුරුවම වෙඩි නොවදින කබායක් ඇද සිටින්න"


x

Saturday, August 18, 2018

෴෴ඉස්සරහින් බහිනෝ෴෴


නගින්න නගින්න
 138 කොටුව කඩවත,
ජොඩු ජොඩු  කොනක
කසු කුසු,
නාකි උන් බලයි
හපනවද උන් තොල

බාබුල් විටක් කා මත් උන
කොන්දා වනමින් විලක්කුව
ගිනිගෙන සර්වාංගය
ගසමින් දුම්මල
එලවයි සැමන් ටින් පරසක්වලට
මැදින් වමට වෙනවකෝ දකුණට
කියමින් මගී පිසාචයන්ව


මක්කම යන්න පාස්පෝට්
ඔෆිසියට ආ මොහොමඩ්
දඹදිව වඩින්න කඩදහි ඇන්න යන
මැගිලින්
එක්ව බනියි
සහජිවනෙන් එක හඩින්
කුරුසය කරේ දමා ගත්
බස් රියදුරු තුමාට අර්ශස්


ඕම් ඕම් ඕම්
 මෝක්ෂය
සාදු සාදු සාදු
 නිවන
ආමේන් ආමේන්
ස්වර්ගරාජ්ජය

දාඩිය දමයි
ගුද වාතය නිහඩව හමයි
හකුලමින් නාස් පුඩු
දමා මුලු වීරිය
මා
බහිනවා ඉස්සරහින්
ඕයි දාලා යනවා
අදට මා මගින්

ඕම්  ඕම්  ඕම්
  මෝක්ෂය
සාදු සාදු සාදු
   නිවන
ආමේන් ආමේන්
 ස්වර්ගරාජ්ජය


෴෴ විමු ලියනගේ෴෴

Saturday, April 21, 2018

ඌ ඉත්තෙක්



රජෙක් වූවත්
චෙස් පෙතක
ඌ ඉත්තෙක්.





෴෴සංකල්පනා෴෴
විමු ලියනගේ

Friday, April 20, 2018

ලොකු සර්


Related image



ජිවන වාලම්පුරිය
විසි කොට
රැල්ලට රුපියල් සිප්පි කටු
අහුලන කිරි කැටියෙක්
මං


෴෴සංකල්පනා෴෴
විමු ලියනගේ

Wednesday, November 15, 2017

කෙටි දිවිය සැප වැඩිය

Image result for life is shortඋපන්දිනම ගියද
යොවුන් දිනක ගියද
තරුණ දිනක ගියද
වැඩිහිටි දිනක ගියද
හැරමිටි දිනක ගියද
ජිවිතය කෙටිය

බුදු වුවද නොවුවද
ජිවිතය කෙටිය,
දේව පුත්‍රයන්ටද
නරවැසියන්ටද
ජිවිතය කෙටිය

ජිවිතය කෙටි වුවද දුක වැඩිය
දිගු උනොත්  තව දුක වැඩිය
ඒ නිසා කෙටි දිවිය
සැප වැඩිය





Wednesday, August 2, 2017

කවියක් ලියන්නට

කවියක් ලියන්නට
දමා පදමට
මහප්‍රාණ
ප්‍රාණය නිරුද්ධ
එකෙකුවත් නැතිද
ගොසිප් පුවතක
දැවටුන

උදයම පිබිදි
මහා කරුණාවෙන්
ඩෙටා කපාගෙන
ඇස් ගෙඩි නෙරාගෙන
ඇගිලි තුඩු තලා ගෙන
වල් පල් කුණු පුවත්
සොයා ගෙන
කවියක් ලියන්නට
සැරසෙන්නේ මෙමා අද,

පස් කන්දකට යටව
එහෙමත් නැතිනම්
කුණු කන්දකට යටව
නාස් පුඬු සිරව
හිරු නොදකින
රටවැසි‍යෝද,

කිඹුලෙක් නැතිනම්
දිය බරියෙක්
අරන් ගිහින් කැලි කොට
ඉතිරි උනැ
අතුනුබහන් ද
සදැසකට අමුණමි මම

මග මරුවෙක්, යකඩ යකෙක්
ආජානිය ස්කුටරයක්
බඩ උඩින් ගියපු
ජිවිතයක් රස කර කර
දුක් රසයෙන් කවි කොට
 වළදමි මං

ප්‍රේමයෙන් මන මත්වු
විවාහයෙන් යලි පන ලත්
හුස්ම ගන්න මහලු හදත්
සංස්කෘතිකව ඝාතනය කර
සංදේශයක් කොට
වළලමි මං පෙට්ටගමක් තුල

ආදරය පෙරේත කමක්
යැයි
ආදර ගාථා පැටලි
පිහි තුඩින් නිවන්පුරට
පාර පෙන්නු
කුකුල් කෙන්ති කාරයන්
නිදොස් කොට නිදහස් කරමි මං
මළ ඇය මනමේ කුමාරියක් කොට

උන්ට වෙන සෙතක් නැත
මටද ඇති වැඩක් නැත
ස්වං වින්දන කවි ලියමි
සයිබර් හිඩැසේද
පන අදිනා කඩදාසි පිටුවකද
කවියෙක්යැයි
හංවඩු ගසා ගනු පිනිසම


෴෴ විමු ලියනගේ෴෴





Tuesday, February 28, 2017

නුඹට ඇති ආලය හන්දා


පොඩි පුතයි
ලොකු පුතයි
දරුවන්ගෙ අම්මයි
මාත් එක්ක බඩගිනි
කටවල් සතරයි

ඉරට පස්සෙ හඳයි
හඳට පස්සෙ ඉරයි
නොනිමි ලෝදහමයි
හතිලන්න නිවනක්
නැති ජිවිතයයි

බොල් කැස්සයි
තද උණයි
හතියට පැලස්තර ගහන
දිගටි රෝස පෙත්තයි
රවුම් සුදු පෙති දෙකයි
දවසෙ පඩිය ඉවරයි

වැරහැලි ගවුමයි
වැහැරුනු ළයයි
ආදරය පිරුනු හදයි
ජිවිතයට පන පොවන
පොහොසත්ම ආදරයයි,
හද ගිනි නිවි
හෙටත්  පණ අදිමි
නුඹට ඇති ආලය හන්දා

෴෴ විමු ලියනගේ෴෴






Wednesday, October 12, 2016

සියල්ලෝ මෙසේය


සිනා සෙමු අප නොදැක හෙට උදා      දින
හෙට හඬයි අප නොදැක ඉන් මතු        දින
පැතුමන් සිත් තුල පැල කර නිදමි අද    දින
සිනහව පමනක් දකිනා අටියෙන් සැම  දින
෴෴ විමු ලියනගේ෴෴

Sunday, July 24, 2016


බියර බදුනක
පතුල සිදෙන විට
හදවත පිරි
උතුරා එයි
මම
එළියට


Wednesday, June 8, 2016

සුමට සිහින අපිට මොටද

පාන් ගෙඩිය හය දෙනෙක්ම
කඩන් කාපු,
වතුර බිලා බඩ පැලෙන්න
පැදුර හපන් නිදාගත්තු,

හිරු මිය ගිය කුටුම්බයක ,
කුප්පි ලාම්පුව නිව්වොත්
ළුලියෙන්
තෙල් ටික  ඉතුරුයි හෙටටත්


ගල් අන්නාසි තලලා
කට කහ කහ රහට කාපු
සීනි නැතුව බී කහට උගුර
පාන් පැලට මල් පුදාපු

කලු වැස්සිගෙ  සුදු හද පලුවයි
නලල් තලෙ හැඩ  කරාපු
නානා ඇවිත් හෙට්ටු කරලා
ඌ අරගෙන යන්න ගියපු

මොනා උනත්  දුකට සැපට
ලගම හිටපු කැහැටු බල්ලා
නමක් තියන්නත් බැරි උනා
නයා ගහලා වළලනකම්


අම්මා ගොහින් තකහනියක්
ගෙනවිත් දැම්මත් ජිවම් සුරයක්
හෙනහුරු අපලෙට නගාට ,
නුල කඩන් සරුංගලය
පැනලා ගියා සුරසේන එක්ක

දුප්පත් කම උරුම උන්ට
හීන දකිනවට අහස උසට
දෙයියො දුන්න දඩුවමක් ඕක
කට ගොන්නක් බි ගෙන
මහතුන් මාමා කියපි දිනක

හැකිය කටට රහට කාලා ඉන්න
ගියොත් පොඩි සාදු වෙන්න
බඩ අල්ලන් බඩපිස්සා  කියපු විටක
හිතුනා මට කනේරු ඇට හපන්න

පොල් අතු වහලින්,හිරි පොද 
හොරා පනින විට හිස මත
උළු කැට , හුනු බිත්ති මැවෙයි
මිරිගු හිනයක්  සේ ඇස් අග

දර අහුලා,ගල් කඩලා
නොහැක පුතේ ගොඩට යන්න
මටත් හිතේ ජොසී වගේ
මරු කතරෙ කාසි ඇන්න
එන්න යන්න 

අම්මා ඕනෙ නැ කොහෙවත්
අපිව දාලා  නැව් නගින්න
මට ඇහැකියි  මුලු පවුලට
තාත්තා වගේ කන්න දෙන්න

ස්කොලේ ජෝගියක්නෙ
හාමත් අපි වගේ උන්ට
දෙයියො උනත් ඇස් අරින්නෙ
කාසි වැටෙන විට පඩුරට

උනා දමා නිල් කො කලිසම
මට පුලුවනි ගස් නගින්න
කොඹ හතේ බංගලාවක
බල්ලො උනත් ලාගන්

සුමට සිහින අපිට මොටද
තිබ්බත් ඇති වැඩක් ඇද්ද
කලු ගල් උඩ රෝස මලක්
පිපි වැනෙනු දැකිය හැකිද?




Saturday, June 4, 2016

මනමේ විහින් මැරුනා


මනමේ මනමේ නැගිටපන්
මනමේ උඹ
නිදිද...

මනමේ මැරිලද,
නැ,
මනමේ මරලා,
අහෝ දෙවියනි
මනමේ මරලා....

උබට දෙයියොන්ගෙ හාල් කැවිලද
මනමේ විහින් මැරුනා,

අර කාල වර්ණ
අහිංසක මස්
වැද්දාට
මනමේ
මරන්න උනා......


ඇය  කැමති පිරුනු මස් ගොබ
පුලුල් උරතල ,වැදි රජුන්ටත්
තියෙන්නට ඇති
උරතලෙ බිඳ දුන් ලේ රසින්
සාපිපාසයත්  නිවෙන්නට  ඇති,

සමුරායි කඩු පතකට වඩා මුවහත්
සිහිය සිදලන රාග අසිපත,
කුමරි හදවත කවන්ධයක් කල බැව්
නොවටහා ගත්තේ ඇයිද  මනමේ ,මදුසමේවත්




කුමාරි , කුමාරි
කැමති මස් වැද්දෙක් එක්ක
පලයන්
තව
මනමේලා
මරන්නෙ නැතුව.

සංකල්පනා
෴විමු ලියනගේ෴ 

නිමිත්ත :  අපි ඔක්කොම මනමේලා, වැද්දො සහ කුමාරියො.

Monday, May 16, 2016

කුහක දරුවන්ගෙ අම්මා


කැලණිතිස්ස
නිරිදුන්ගෙන් පෙම්ලද
නුතන දුටුගැමුනුවන්ගෙන්
අවමන් ලද
කොමළිය කැලණිය

කරාමයෙන් එන පළිගු දිය
අම්මාගෙ පිවිතුරු ආදරය
බැවු
නොහදුනන
කුහක දරුවන්ගෙ අම්මා කැලණිය

දරු පෙමට නිමක් නැති
බුදුන් දුටු මුත්
කිසිදා නිවනට මගක් නැති
දැවි දැවි
දැවෙන්නිය කැළණිය

අමාවක අහසෙ සඳ පතනා නොදරුවන්ගෙන්,
උවටැන්  පතනා ,
අවනඩුවට පිලිසරණක් නැති
ඝන අඳුරෙ යාදින්නිය
කැලණිය


නිදන නිරිදො  තවත් වකුටුව
නිදන විසිහතර පැය ,
නොනිදා ගලයි
හෙටවත්  නොපිබිදෙන
කොළඹ මැද
වියපත්වු
බලාපොරොත්තුවෙ කැලණි ගග




















    සංකල්පනා
෴විමු ලියනගේ෴

Saturday, April 23, 2016

සයුරට මෙන්

ගඟක කදුලු බිදුවෙන් බිදුව
රූරා  ගොස්  ගං කොපුල් තෙමා
එක්ව් හැඩුවා මහා හඩින්
සයුරෙ රළ ලෙස බිදෙමින්

ඇත්නම් සැකයක් ගෙන කදුලු
බිදක් ඇගිලි තුඩු මතට දිවගා බලන්,
දැනෙවි සයුරට මෙන් ඔබටද
උරුම දුක් රසයක්





(සංකල්පනා -- විමු ලියනගේ)

Tuesday, April 5, 2016

රූබර මලක්



රූබර මලක්
මිය යන දින
රන් සමනලුන් නැත
රොනට වඩින්නෙ

ඉහඳ පනු කැල
සිප සිප
මළකුණ වළඳන්නෙ